සාහිත්‍ය දිනපොත යාවත්කාලීන කරමු. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2020


කොවිඩ් 19 විසින් ලෝකයේ සියලුම වාර්ෂික කැලැන්ඩර් අවලංගු කරන ලද බව අපි දනිමු. මාස ගණනාවකට පසු ලෝකය කෙමෙන් කෙමෙන් යථාවත්භාවයට පත් වෙමින් සිටියි. ලංකාවේ අප ද එම පීඩනයේ අත්දැකීම විඳිමින් සිටින අතර ම යළි මග වෙතට පිවිසීමේ පියවර ඔසවමින් සිටිමු.
ලේඛකයන් ලෙස කලා අනන්‍යතාව පවත්වා ගන්නා අපට ලාංකික මහා කලා ධාරාවේ හිමිකර දී ඇති තත්ත්වය ද කොවිඩ් විසින් හොඳින් පෙන්වා දෙන ලදී. රාජ්‍ය හෝ පුද්ගලික අංශය විසින් කලාකරුවන් වෙනුවෙන් කළ අවධානයෙන් ලේඛකයන් හැලී තිබුණ බව ලංකා ලේඛක සංවිධානය නිකුත් කළ නිවේදනය සාක්ෂි දරයි.. වන්නා වේ..
මේ වනවිටත් සාහිත්‍යය රජයේ අවධානයෙන් ගිලිහී ගොස් ය. රාජ්‍යසාහිත්‍ය අනුමණ්ඩලයක් පවා මේ වනතෙක් පිහිටුවා නැත. කලා මණ්ඩලයක් පවතින්නේද යන්න දන්නා අයෙකු නැත. සංස්කෘතික දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙවර රාජ්‍ය සම්මාන උත්සවය පැවැත්වීමත් කොට උඩ ය.
මාස දෙකක් තිස්සේ සිය ආදායම් මාර්ග වැසී ගිය පසුබිමක ප්‍රකාශකයන් ද හාන්සි ය. ගොඩගේ පොත් මැදුර, සරසවි ප්‍රකාශකයෝ, ගුණසේන වැනි විශාල සේවක ගහණයක් ඇති ආයතන මාර්තු/අප්‍රේල් වැටුප් ගෙවන ලද්දේ මහත් අසීරුවකින් බවද දනිමු. ලාංකික ලේඛක ප්‍රජාව සහ සාහිත්‍යය බැඳි ඇති මහා වරපට සෑම තත්ත්වයකට අයත් ප්‍රකාශකයන් ය. ඔවුන් ශක්තිමත්ව නැගී සිටීම වැදගත් ය.
මේ තත්ත්වය යටතේ ජූනි මාසයට නියමිත 2020 රජත පුස්තක සම්මානය කල් පසු වී හෝ පැවැත්වෙනු ඇතැයි සිතමු. ස්වර්ණ පුස්තක නවකතා සම්මානයත් පොත් ප්‍රදර්ශනයත් නියමිත දිනට පැවැත්වීමේ අපේක්ෂාව දරමු. මේවා ලාංකික සාහිත්‍ය කැලැන්ඩරයේ වැදගත් සහ බලවත් දිනයන් ය.
(ප්‍රකාශක සංගමය රටේ පවතින තත්ත්වය සමාලෝචනය කර මිස සිය සාහිත්‍ය කැලැන්ඩරය වෙනස් නොකරන බවදැනුම් දුන්නෙන් මෙම වගන්ති සංශෝධනය වූ බව සලකත්වා..)
විදුදය සම්මානය මෙවරත් පැවැත්වීමට පොත් එකතු කරගත්තෙන් එයද පැවැත්වෙනු දැකීම අපේක්ෂාවකි.
මේ තත්වයන් අපට අවබෝධ කරන්නේ කොවිඩ් 19 ලාංකික සාහිත්‍ය කැලැන්ඩරයට බලපෑම් කර ඇති බවයි. මේ පිටු යළි සකස් කර ගැනීමේ වගකීම ඇත්තේ ලේඛක, ප්‍රකාශක සහ පාඨක සාමූහිකත්වයකටය.
එනිසා අප- ගොඩගේ සාහිත්‍ය සම්මාන කමිටුව, පවතින තත්ත්වය යටතේ වුව 2020 සාහිත්‍ය සම්මානය 22 වරටත් අඛණ්ඩව පැවැත්වීමට තීන්දු කළ බව දැනුම් දෙමු.
2019 වසරේ තමන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රබන්ධ කෘති අප වෙත මෙතෙක් යොමු නොකර ඇති ප්‍රකාශකයින්/කර්තෘ ප්‍රකාශකයින් වෙතොත් මැයි 22 දිනටපෙර තම කෘතියකින් පිටපත් 3 බැගින් මරදාන ගොඩගේ පොත් මැදුරට ගෙනැවිත් බාර දෙන මෙන් ඉල්ලමි..
උදාවන පාරසරික තත්ත්වයන්ට යටත් ව වෙනස් විය හැකි වුවත් සැප්තැම්බර් මස 10 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සම්මාන උත්සවය පැවැත්වීමට නියමිතය.
ගොඩගේ අත්පිටපත් තරගය 2020 සඳහා අත්පිටපත් බාර ගැනීම ජූනි මාසය තුළ දී සිදු කිරීමට අපේක්ෂිතය.
සාහිත්‍යය වෙනුවෙන් උනන්දු සැම අතරට මෙම පණිවුඩය බෙදා හැරීම ඔබට බාර කරමු.
ගොඩගේ ජාතික සාහිත්‍ය කමිටුව වෙනුවෙන්
පින්තූර : මෙතෙක් ලද බාහිර ප්‍රකාශන සහ ගොඩගේ ප්‍රකාශන..

 



වැඩි විස්තර සඳහා අමතන්න 
අනුරසිරි හෙට්ටිගේ  0715 316 568

Comments

Popular posts from this blog

අද හඳුන්වාදෙන ගීතය 2020 ජූනි 04

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීති වලට අනුව විවෘත කිරීම ?